අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීමට අගමැති ඉම්රාන් ඛාන් විරෝධය

පන්ජාබයේ මන්ත්‍ර සභාව විසින් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ වරප්‍රසාද වැඩිකිරීමට ගනු ලැබූ තීරණය පිළිබඳව පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා දැඩි විරෝධය පළකර තිබේ.

‘‘මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පන්ජාබ් මන්ත්‍රණ සභාව ගත් තීරණය ගැන මම අතිශය කළකිරීමට පත්වුණා’‘යැයි අගමැති ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසීය.

‘‘පාකිස්තානය වෙත නැවත සෞභාග්‍යය උදා වූ පසු එවැන්නක් තීරණය කිරීම ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් අපේ මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටවත් නොහැකි තත්ත්වයක් තිබියදී මෙවැනි තීරණ ගැනීම පිළිගන්න බැහැ’‘ යැයිද අගමැතිවරයා සිය ට්විටර් පණිවුඩයෙන් පවසා තිබේ.

ඉකුත් බදාදා දිනයේ පන්ජාබයේ මන්ත්‍රණ සභාව එරට මහජන නියෝජිතයන්ගේ වැටුප් හා වරප්‍රසාද වැඩි කරගනිමින් පනතක් සම්මත කරගත්තේය. මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ වරප්‍රසාද වැඩිකිරීම සම්බන්ධයෙන් වන පළමු වාර්තාව විනාඩි පහක් වැනි කෙටි කාලයක් තුළදී පොදු එකඟතාවකින් ස්ථිර විය.

ඒ අනුව කථානායකවරයාගේ මාසික වැටුප රුපියල් 37,000 සිට රුපියල් 200,000 දක්වාත් නියෝජ්‍ය කථානායකවරයාගේ වැටුප රුපියල් 35,000 සිට රුපියල් 185,000 දක්වා වැඩි වේ. පන්ජාබ් මන්ත්‍රණ සභාවේ මහ ඇමතිවරයාගේ වැටුප රුපියල් 350,000 කි.

පන්ජාබ මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන් මාසිකව ලබන රුපියල් 18,000ක වැටුප රුපියල් 80,000ක් දක්වා වර්ධනය වන අතර ඔවුන්ගේ උපයෝගිතාව සම්බන්ධ බිල රුපියල් 120,000 සිට රුපියල් 200,000 දක්වා වර්ධනය වේ.

අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන්ට වඩා ඔහුගේ වැටුප් ප්‍රමාණය අඩු බව ඒ මහතාගේ වැටුප් වාර්තාවට අනුව හෙළිවී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. මෑතකදී ප්‍රසිද්ධ කරන ලද වැටුප් පත්‍රිකාව අනුව අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ වැටුප රුපියල් 107,280කි.

දීමනා ද ඇතුළත් වූ පසු පාකිස්තානු අගමැතිවරයාගේ මුළු වැටුප රුපියල් 201, 574 වන නමුත් බදු මුදල් කපා හැරීමෙන් පසු එය 196,979 බවට අඩු වේ. මෙම වැටුප අමාත්‍යවරුන්ගේ වැටුපට ද වඩා අඩු මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Leave a Reply

(*) Required, Your email will not be published