හතුරුසිංහට කණ්ඩායම ගොඩගන්න තවත් අවස්තාවක්?

හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ පසුගිය මාස 15 ක කාලය තුළදී ශ‍්‍රී ලංකාව සහභාගි වූ එක්දින තරග 20 කදී ජය ලබා ඇත්තේ තරග හයක් පමණි. එ අතරතුරදී ඇෆ්ගනිස්ථානයටද පරාජය විය. කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමට ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සූදානම් වුවද පුහුණුකරුවාගේ ක‍්‍රියාකලාප හේතුවෙන් ඔවුන් එම තනතුර ප‍්‍රතික්ෂේප කරන තත්ත්වයක්ද උද්ගතවී ඇති බව ක‍්‍රීඩා අමාත්‍යවරයාට වාර්තා වී තිබෙනවා.

එම සියලූ කරුණු සලකා බලා ක‍්‍රීඩා ඇමැති හරීන් ප‍්‍රනාන්දු විසින් ලබාදෙන තීන්දුවද ඔහුගේ පුහුණුකරු රැකියාව ස්ථිර වීමට ප‍්‍රධාන සාධකයක් බවට මේ වන විට පත්ව ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා වන චන්දික හතුරුසිංහ සහ ක‍්‍රිකට් ප‍්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව යළිත් ඔහුට අවස්ථාවක් දීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හි අවධානය යොමුව තිබේ.

ලෝක කුසලාන අත ළග තිබියදී පුහුණුකරුවා මාරු කිරීම ඥානාන්විත නොවන බව ක‍්‍රිකට් ප‍්‍රධානීන්ගේ මතය වී ඇති අතර ඒ අනුව සියලූ පාර්ශව එක මතයකට එමින් ලෝක කුසලාන සඳහා හතුරුසිංහගේ පුහුණුකාරීත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් තවදුරටත් සාකච්ඡා කරමින් සිටියි.

මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධානියකුගෙන් කළ විමසීමකදී පවසා සිටියේ, ‘‘ලෝක කුසලාන කටේ තිබියදී පුහුණුකරුවා මාරු කිරීම එතරම් හොඳ දෙයක් නොවෙයි. පසුගිය කාලයේ වෙච්ච දේවල් කතා බහ කරලා හරි විදිහට කණ්ඩායම පුහුණුකරුවා සමඟින් එකට එකතු කරමින් ලෝක කුසලානට සහභාගි කරවීම තමයි මේ අවස්ථාවේ කළ යුත්තේ. අපි බලනවා තවදුරටත් සාකච්ඡා කරලා හතුරුසිංහට අවස්ථාවක් දෙන්න පුළුවන්ද කියලා’’ යනුවෙනි.

චන්දික හතුරුසිංහ විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් හමුවේ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සැලසුම් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අතර ලෝක කුසලානයේදී ඔහුගේ බලාපොරොත්තුව සම්බන්ධයෙන්ද පැවැති සාකච්ඡාවේදී අදහස් දක්වා තිබේ.

කෙසේ වෙතත් හතුරුසිංහව පුහුණුකරු ධුරයෙන් ඉවත් කරමින් ස්ටීව් රික්ෂන් ලෝක කුසලාන පුහුණුකරු තනතුරට පත්කිරීම සම්බන්ධයෙන්ද කි‍්‍රකට් ප‍්‍රධානීන්ගේ අවධානය යොමුව තිබුණි. හතුරුසිංහ විසින් ඉදිරි වසර සඳහාද සකස් කර ඇති සැලසුම් සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති අතර ක‍්‍රීඩා ඇමැතිවරයාද ඔහු සමඟින් සාකච්ඡා කර තිබේ.

ක‍්‍රීඩා ඇමැතිවරයාට හතුරුසිංහ දක්වා ඇති අදහස් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවල මත පළ වෙද්දී ලෝක කුසලානයේදී ඔහුට පුහුණුකරු ධුරය ලබා දෙනවාද නැද්ද යන්න දකුණු අප‍්‍රිකානු සංචාරය අවසන් වීමෙන් පසු තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

දකුණු අප‍්‍රිකාව සමග පැවැති එක්දින තරගවලදී දිගින් දිගටම ශ‍්‍රී ලංකා පිල අසාර්ථකත්වයට පත්ව සිටීම හේතුවෙන් චන්දික හතුරුසිංහගේ පුහුණුකාරීත්වය විවේචනයට බඳුන් විය. ලෝක කුසලාන ඉලක්ක කරමින් ඔහුව මිලියන හයකට වැඩි වැටුපකට ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් පත්කළද ලෝක කුසලානට පෙර තරගාවලියද පරාජය වීමෙන් හතුරුසිංහ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ක‍්‍රීඩා ඇමැතිවරයා මූලිකත්වය ගනිමින් ඔහුව තරගාවලිය අතරතුරදී ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලදී.

Leave a Reply

(*) Required, Your email will not be published